ඒවිද එකම එක දවසක්....?



ඒවිද එකම එක දවසක්....?

අඳුරු වලාකුලක් යට ....

හීතලම හීතල ඉසව්වක...

උණුහුම බෙදාගෙන සැනහෙන්න....



ඒවිද එකම එක දවසක් .....?

මල් ඉහුණු කුඩය යට .....

ගිණි ගහන දවාලක - සෙනග පිරි වීදියක....

ඩා බිඳක රස දෙතොලින් බලන්නට....



ඒවිද එකම එක දවසක්....?

අඳුරු වැහි බීරමක....

තෙමි තෙමී තෙත බරිව

උකුළ, ලැම දෙවටොර හැඩට සළු අලවන්න....



ඒවිද එකම එක දවසක්....?

දහසක් රකුසු නෙත් - උකුසු ඇස්....

වසා ඔබ හා එක්ව, තුරුලුව ....

උයන්සිරි විඳගන්න....



ඒවිද එකම එක දවසක් .....?

හිරු ගිලෙන වෙරළ ඉම....

පුලින සුදු වැලි අතර, රැළි අතර...

ආදරය පෙණ පිපී හැපෙන යුරු විඳගන්න ....



ඒවිද එකම එක දවසක් .....?

බෙදාගෙන වළඳන්න....

හිඳ පෙට්ටි කඩයක පිලක....

හායි - හූයි කොච්චි වඩයක්...

දුම් දමන කෝපි කෝප්පයක් ....



ඒවිද එකම එක දවසක් ....?

දුරගමන් බසයෙක .......

ඉඟවට අත දමන්.... උරහිසට ඇලකරන් ..

ලොවටම හොරෙන් එකිනෙකා තෙරපෙන්න....



ඒවිද එකම එක දවසක් ....?

අපේම පුංචි ලෝකෙක ....

ඇසට ඇස ... ගතට ගත තද කරන් ...

ආදරේ තරඟයක පැටලෙන්න ....



ඒවිද එකම එක දවසක්...?

අපි ගැන වගක් නැතිවම......

ලෝකයම නිදි සුව විඳින ....

හෙමින්ම කටු කැරකෙන....

එකම එක දවසක්....



ඒවිද ඇත්තටම එහෙම දවසක්....?

 

ඔය සුසුමක සුවඳ දන්නැති ...

ඔය නෙත් කැළුමක සුවය විඳ නැති....

අතැඟිලි පහස විඳලාම නැති...

මඟ බලන, දින ගණින මිනිහෙකුට...

ඒවිද එහෙම එක දවසක්....



ඒවිද ....?

අනේ... දවසක්ම නැතත් ....

පොඩිම පොඩි සුසුමක තෙතක්....

එකම එක නෙත් කැළුම් හීසරක් ....

ඇඟිලි තුඩු උණුසුමක්....

තත්පරයක හරි මතකයක්....



ඒවිද එහෙම මොහොතක් වත් ....?

මැරෙනකන් සුරැකිව තබාගත හැකි....

පුංචිම මතකයක්.....

පුංචිම පුංචි මොහොතක්.....

ඔබ ඈත යන්න පෙර...

ජීවිතය දෙන තත්පරයක්.......


©විශ් | The Dreamer


(පාද සටහන - ප්‍රේමය නම් මිහිපිට ඇති අපූර්වතම හැඟුම වෙයි. වැසි මැද එක කුඩයක් යට, පෙට්ටි කඩයක තේ කෝප්පයක, දුර ගමන් බසයක බෙදා ගත හැකි නමුත් කිසිදා ඉටු නොවෙන අහිංසක අසම්මත ප්‍රේමයක් වෙනුවෙන් මඟ බලන ඔහුගේ හදවතේ හැඟුම් ස්වරය ...)

 

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement