ප්‍රේමී.....!

 


අඟව අඟවා තුටු සිනා කැන් හිනාවෙන හේතු

සඟව සඟවා කඳුළු කැටි බිම දමන්නැති හේතු

පොඟව පොඟවා හැඟුම් මතකෙට නඟන්නැති හේතු

අවුල අවුළා ප්‍රේම චිතකෙට පනින්නැති හේතු

 

හිනාවක දුර ඇවිද ගිය හැටි දන්නවා ප්‍රේමී

ජීවිතේ බර බිමින් තිය තිය හිනැහුණා ප්‍රේමී

මහා හුඟක් කඳු නාය ගිය හැටි දන්නවා ප්‍රේමී

ඒත් බොරුවට හඟවලා මම හිනැහෙනවා ප්‍රේමී

 

කඳුළු පිස ඇස් හිනාවෙන හැටි බැලූ මම ප්‍රේමී

එක බින්දුවක බර කොච්චරද මම දන්නවා ප්‍රේමී

පෑගුනොත් ඔබ දෙපා විස වෙයි බයයි මට ප්‍රේමී

කඳුළු පැන් බිම දමන් නැතුවම බොනව මම ප්‍රේමී

 

හැඟුම් ගඟ මැද කිමිද නෑ හැටි මතකයිද ප්‍රේමී

කොච්චරක් තෙත හාදු වැසිවල තෙමුනාද ප්‍රේමී

හැඟුම් තරමට පැතුම් දුර වැඩි දුකයි මේ ප්‍රේමී

මතක මං අහුරලා දෙවුරින් දරා ගමි ප්‍රේමී

 

සුවඳ කැන්දන මතක වස්තර තියෙනවා ප්‍රේමී

එදා මුදු ගී මතක බණ වී ඇහෙනවා ප්‍රේමී

ඇවිළෙනා චිතකයක රස්නය සැපයි මට ප්‍රේමී

පනින් නෑ ...., ඔබ ආදරේ බව දන්නවා ප්‍රේමී

 

©විශ් | The Dreamer

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement