සඳ රේණු වැස්සක තෙමෙනු මට පිං මදි ඇතී...


කවුරුවත් දන්නැති සමහරක් දා හඳත් පොළොවට ඇදෙනවා

පුර එළිය නැතුවත් දවල් වරු වල ඉසිති ජය සිඹ නිවෙනවා

එහෙම දවසට හඳ හාවී පැන පැන නිදහසේ සුව විඳිනවා

අසම්මත බර දැනුන මොහොතෙම ආයේ අහසට දුවනවා

 

ගැහැණු ඇඟකට හඳක වාගේම යස කලාවක් තියෙනවා

විසි අට දවසකින් එළිය විහිදන් ආයේ අලුතින් පිපෙනවා

කවුරුවත් දන්නෙනැති පංගුවක් දා කළුවරත් ගිණි ගන්නවා

විසිඅටම ඒ ආදරෙන් දුටු පුංචි මිනිහෙක් ඇඟිලි ගනිමින් ඉන්නවා

 

අමාවක දවසටත් ලස්සන ඔබේ හැඩ මම දන්නවා

හැමදාම එකවන් ආදරේ ඇස් පාළු අහසේ ඇඳෙනවා

පෝය දවසට මෙහෙම වැස්සම හීනි සතුටක් තියෙනවා

කාට නැතුවත් හාවී උඹ හැඩ මගේ ඇස් වල දිලෙනවා

 

ඒත් කොළඹට මෙහෙම වැස්සට එළිය දෙන තැන් තව ඇතී

තරු පැටව් ඔබ වටකරන් හිඳ ආදරෙන් සුබ පතනව ඇතී

සාද මේසෙක බුබුළු බිඳ බිඳ වයින් ඔඩමක මධු හඳත් ගිලිලා ඇතී

හොඳම දවසට සඳ රේණු වැස්සක තෙමෙනු මට පිං මදි ඇතී


©විශ් | The Dreamer

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement