සංසාර දුක උරණ මේ නිහඬ තත්පරය ....

 


තිබෙන්නට පුළුවන්...,
අවාරේ එක අහම්බෙක,
කිසිදාක නොපැතුව ඉමක...
ඇස් ගැටෙන එක නිමේෂෙක...
 
දඩිස් ගා බිම වැටෙන පපුවක්... දෙකක්...
කෙවෙනි අග මෝරනා කඳුලක්.... දෙකක්...
සියොළඟම හිරි වැටෙන කිතියක්... දෙකක්...
හද පාසා කරගෙන බසින යවුලක් ... දෙකක්...
 
මතකය දව දවා අවුලන ගිණි පුලිඟුවක් .. දෙකක්...
අතු පතර අඹරවා බිම දමන සුළං කෝඩයක් .... දෙකක්...
හිසට ඉහළින් පතිත වන අකුණක් ... දෙකක්...
හද බිමම යට කරන වැහි මේඝයක් ... දෙකක්....
වසර ගණනක් විලිලමින් සිටි කවියක්... දෙකක්...
දෙතොල් පෙති ගොළු කරන මත් විතක්... දෙකක්...
ඇස් බිමට බර කරන මහා මෙරක තරමට බරක්...
මහ මෙරත් සසලවන සුසුමක් දෙකක්....
 
ඉතින් අවාරේ ආපසු වැඩිය...,
සදානන්දකර පෙම් කුසුමිය,
ගොළු ඇයිද නොඅසන්න....
සලිත වී ඇයි කියා විස්මයෙන් නොබලන්න ....
මේ කඳුළු පිසලන්න... එපා අත් ඔසවන්න....
 
බදාගෙන සිප වැළඳ ....
හදවතට හදවතක් ලං කරන් හඬ අසන ....
ඇසට ඇස ලංකරන් මඟ හැරුණු තැන් සොයන ....
දෙතොල් පෙති පටලවන් සංසාර දුක උරණ ...
ඇඟිලි තුඩු දුව දුවා රිදුම් අතගාන.... සනහන....
 
අසිරිමත් මොහොතට පෙර....
ඉන්න ...
මොහොතකට නවතින්න.....

මහ බරක් බිම තියන ....
මේ පුංචිම පුංචි නිහඬ තත්පරය....
හද පුරා විඳගන්න ....
ඉඩදෙන්න....

©විශ් | The Dreamer

(පාද සටහන - තිබෙන්නට බැරිද .... හැමදාම හදවතේ රිදුම් දෙමින් සැඟවුන, කිසිදා නොපැතූ ලෙස ජීවිතය කණපිටට පෙරළන හමුවක්... අහඹු එක් නිමේශයක්.. හමුවුණොත් ඔබටත් දැනෙයි...)

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement