දුකම තැවරුණු ප්‍රේමයක්...

 



සඳත් නැති රෑ....
තරු නෙතක් වත් නොමැති දා...
කලුවරම අහසක වුණත්...
දුක අසාගෙන තුනී කරගෙන...
කළුව තුල දුක නිදන් කර හිඳ..
හෙට උදෙත් ලෝකෙට හිනාවෙන...
 
දුක් වළාකුළු එකතු කරගෙන...
දරන්නම බැරි විටෙක වැගිරී...
දයාවෙන් බිම තෙමන තරමට....
කිසිවෙකුට නොපෙනෙන...
දුකම තැවරුණු ප්‍රේමයක්...
 
තුරු පතක් වත් ආදරෙන් විත් ..
සිප වැළඳ සනහනා..,
මුදු කොමළ සුළඟ වත්...
නොමැති මේ රෑ කලුවරේ..
අඳුර තුළ තනිවී විඩාලන
ගසකට වුණත්...
ඇහෙන දැනෙනා දුක උරාගෙන...
මලක් වී මුදු දසන් පෙන්වා...
දයාවේ මකරන්ද අරගෙන...
හෙට උදෙත් හිනාවෙන...
කිසිවකුට නොපෙනෙන
දුකම තැවරුණු ප්‍රේමයක්...
 
සවන් පත් සනහනා
කුරුලු කූජන නොමැති...
තැවුල් පිසලන මිහිරි සර නැති...
නිහඬ රැයකට තනිය රකිනට...
හැමදාම ඈතක හැංගිලා ගයන...
රළු රැහැයි ගී හඬක...
වරින් වර මතු වෙනා කිරල ගී වැළපුමක...
තනිය මකලා, තැවුල් සනහා...
හෙට මිහිරි සරයට ලෝකයම දී..
උදා අරුණට කලින් ගොළු වන...
කිසිවෙකුට නොපෙනෙන
දුකම තැවරුණු ප්‍රේමයක්....
 
හැමදාම දුක අහන...
අඳුර වී උරාගෙන...
ගසක් වී දරාගෙන ...
රැහැයි හඬ වී තනි මකාගෙන...
කිසිවකුට නොපෙනෙන දුකම
තැවරුණු ප්‍රේමයකට වුණත්...
 
දරන්නට නම් ඕනෑය...
ලොකුම ලොකු අහසක් තරම්....
නොසැලෙනා තුරු හිසකට තරම් ...
පපුවක සැනහෙන පොඩි ඉඩක්... 


(පාද සටහන - හිතේ උපදින ආදර හැඟුම් තෙරපන් ප්‍රේමිය හා වන කාය විප්‍රයෝගයේ දුකෙහි ගිලෙන රාත්‍රී අඳුර මැද තනිවූ පෙම්වතෙකුගේ හදවත් අයැදුම... "දරන්නට නම් ඕනෑය පපුවක සැනහෙන පොඩි ඉඩක්..." )

Post a Comment

0 Comments

Ad Code

Responsive Advertisement